Monday, December 1, 2008

මම කැමතිම < --> වැස්ස.



වැස්ස සම්බන්ධයෙන් බ්ලොග් සටහන් දෙක තුනක්ම දැක්කා පහුගිය දවස්වල. ඒත් කාගේ කාගේ එව්වද කියලානම් මතක නැහැ. එකක් මම හිත්න්නේ අමල් ඉෂාන්තගේ වෙන්න ඕන. ඉතින් මට ඒ වැස්සේ ස්ටෝරිස් කියෙව්වම ඉන්න බැහැ අප්පා.. :) හිතුනා මගෙත් වැස්සේ අත්දැකීම් කියන්න. වෙලාවක් එහෙම තියෙනවනම් කියවන්න. නොකියෙව්වා කියලා තරහා නැහැ. කම්මැලිකමට ලියන එව්වානේ. :)

හ්ම්ම්.. කොහොන්ද පටන් ගන්නේ. ඉස්කෝල ජිවිතෙන් තමා පටන් ගන්න ඕන.

ඉස්සර මාවයි මල්ලිවයි ඉස්කෝලේ එක්ක යන්නෙ අපේ තාත්තා, බයිසිකලේ තමයි යන්නේ. මල්ලි ඉස්සරහා, මම පිටිපස්සේ. කි.මි. 6-7 දුර යන්න ඕන ඉතින් ඉස්කෝලෙට, එතකොට මම 5 නැත්නම් 6 පන්තියේ වැස්ස දවසට ඉතින් රේන්කෝට් දාගෙන තමයි ඉස්කෝලේ යන්නෙ. මොන කෝට් දැම්මත් හරි යන්නෙ නැහැ, කෝට් එක ගලවන කොට බඩුම තමයි, ඇඟපුරාම වතුර. වට් ටු ඩු. සපත්තු ඇතුලෙත් වතුර, ඇවිදින කොට සපත්තුව කිචි කිචි ගානවා. අපිට රේන්කෝට් ඇන්දුවට තාත්තානම් නාගෙනම තමයි බයිසිකලේ පදින්නේ...

ඉස්කෝලෙ ඇරිලා එනකොට වැස්සොත්නම් අපිට සතුටුයි. කොහොමත් ගෙදරනේ යන්නේ කියලා හොදට වැස්සේ තෙමිගෙනම, මඩ වලවල් වලට පැනලා හොඳට සෙල්ලම් කරලා තමයි ගෙදර යන්නෙ. ඒකත් ආතල් ජීවිතේ නේද??

කොහොම හරි 7,8 පන්තියේ ඉද්දි අපි වෙන තැනකට ගෙවල් හදාගෙන මාරු වුනා. ඒ එරියා එකනම් අප්සෙට් අප්පා… :) වැඩේ කියන්නෙ ගෙදරට වතුර නැහැ, වතුර ගේන්න කිලෝමීටරයකට කිට්ටුවෙන්න යන්න ඕන. එතන තියෙන පොදු පයිප්පෙන් නාගෙන තවත් ලීටර් 20 බූලී දෙකකට වතුර පුරවගෙන බයිසිකලේ තියාගෙන එන්න ඕන. ඉතින් මේ අලුත් ගෙදර ගියාම වැස්සට ෂෝක්. මොකද ගොඩක් වැස්සම නාන්න පොදු පයිප්පෙට යන්න ඕන නැහැ. බොන්න විතරක් වතුර අරන් ආවම ඇති. මොකද නාන්නේ වැස්සේ. අපේ වහලෙට දාලා තියෙන පීල්ලෙන් එන වතුර ලොකු බැරල් එකකට පුරවලා ඒ වතුරෙන් තමයි නාන්නේ. අපේ අම්මලනම් වැස්සේ තෙමෙන්න එපා ලෙඩවෙයි කියලා කවදාවත් කියලා නැහැ. දෙවි පිහිටෙන් වැස්සේ තෙමිලා ලෙඩවෙලත් නැහැ. ඉතින් ඔහොමයි පොඩි කාලේ.

ඊට පස්සේ ඊට පස්සේ අපි ලොකුවෙනකොට ටිකක් ටිප්ටොප් එකට ඉන්න ඕන නිසා වැස්සේ තෙමියෙන ගමනක් එහෙම යන එක අඩු වුනා. උසස්පෙළ කරන කාලේ සෙනසුරාදාට වහිනවා කියන්නෙ අපිට නොදැනුවත්වම හරි මළපනින කාලෙනේ. මොකද නුගේගොඩට බහින්න බැහැ. මඩ ගොඩයි. ඒ වගේම වල බහින්නත් බැහැ. අනිත් එක කොච්චර වැස්සත් කුඩ අරන් යන වයසක් නෙමෙයිනේ. උසස් පෙළට ටියුෂන් ගිය අය දන්නවනේ අර ගැහැණු කුඩයක් අතේ අරන් යන්න තියෙන අකමැත්ත නේද.???
ඒ දවස්වල ඇවිදින්නෙත් හෙමින් අඩිය උස්ස උස්ස මොකද කලිසම් වාටියේ මඩ වදි කියලා. හීහී…. ඉතින් ඔන්න ඔහොමනේ උසස් පෙළකාලේ. මල් හතයි ඒ ලෙවල් සීසන් එක නේද? ගෙදරින් දෙන ගානකට තට්ටු කරන් ගිහින් කරපු දේවල් :) :)

ඔන්න ඊට පස්සේ ලව් කරන කාලේ. ගෑනු ළමයව හම්බ වෙන්න දාගත්ත දවසට උදේට වැස්සොත් කේස්. මොකද එන්න කියන තැනට යන්න පරක්කු වෙනවනේ. ලව් කරන කාලේ රත්තරනින් හැදු කුඩයක් හරි ලැබුනොත් අරන් යන්නේ නැහැනේ. මොකද අර එක කුඩේ යන්න තියෙන චාන්ස් එකට කෙලවෙනවනේ. අනේ අපරාදේ කියන්න බැහැ වැස්ස දවසට මම ලේට්. ඒ වෙලාවට එයාගේ මුහුණත් කලු වෙලා වැහි කලුව වගේම. (අර ඩැඩීලගේ සින්දුවේ වගේ) :) ඒ වගේම ලව් කරන කාලේ කොච්චර වැස්සත් අයිස් ක්‍රීම් තමයි කන්නෙ :) කොච්චර වැස්සත්, ගංවතුර ගැලුවත් අපි කානිවල් අයිස්ක්‍රිම් පාලර් එකේ.

ඔන්න දැන් තමයි ජොබ්කරන කොට වැස්සට අහුවුන කාලේ. මුල්ම රැකියාවට යන්න යන දවසෙත් ගනසැරේට වැස්ස. කොහොම හරි බාගයක් දුර ගියාට පස්සේ වැස්ස තවත් වැඩි උනා. ඊට පස්සේ දවල් කෑමට ගෙදරින් දීපු රුපියල් 40 ත්‍රීවීල් එකට දීලා ඔෆිස් එකට ගියා. මොකද පලවෙනි දවසෙම ලේට් වෙන්න බැරිනිසා. හැබැයි දවල්ට බඩගින්නේ. :)

ඒ වගේම වැස්ස දවසට කොහොමද බස් වල යන්න ගියාම කලු සපත්තු මඩ පාටවෙලා, කලිසම පැගිලා. ඊයා… ඒත් ඉතින් ජොබ් එකට යන්න එපැයි. නැත්නම් ලැබෙන ගානටත් කෙලවෙනවානේ.

ඔහොම ඔහොම ඉන්නකොට තවත් ආයතනයකින් ආපු ඔෆර් එකක් නිසා එහෙට සෙට් උනා. එහෙදිනම් බයික් එකක් දුන්න. පංකාදු පහයි. මොකද බස් වල චාටරෙත් නැහැ, අනිත් එක කොච්චර ලේසිද. ඒ උනත්, බයික් එකක කීයක් දීලා ගත්තත් වැස්සට තෙමෙන්න ඕන. ඒ බයික් එක බජාජ් උනත්, හාලි ඩෙව්ඩිසන් උනත්. වැස්ස දවසට ගෑනුළමයට බස් එකේ යන්න කිව්වම ඉතින් මූණ සතේ සයිස් එකට හැකිලෙනවා. කොච්චර උනත් ගැහැනු ළමයි තමන්ගේ කෙනෙක් එක්ක යනකොට ආරක්ෂයි කියලා හිතනවානේ.. ඒ නිසා වෙන්න ඇති නේද.?? ඉතින් එහෙම වැස්ස දවස්වලට මොබයිල් ෆෝන් එකයි, පර්ස් එකයි සිලිං බෑග් එකක ඔතාගෙන ෂර්ට් එක අස්සෙ දාගෙනනේ යන්නෙ තෙමෙයි කියලා.
ඔන්න ඔහොමයි ඒ කාලේ.

ඊට පස්සේ කොහොමහරි හොඳකට හෝ නරකකට (මමනම් හිතන්නේ කොයිදේ වෙන්නෙත් හොඳකටයි කියලා) රට යන්න චාන්ස් එකක් ආවා. ඒ තමයි දැන් ඉන්න සව්දි අරාබියට. ඒ දිනය 2006.06.18. එදා ඉරිදා දවසක්. එදත් හොඳටම වැස්ස. එදා දවසේ උදේ තමයි වැඩකරපු ආයතනයට මම පාවිච්චි කරපු බයික් එක බාරදෙන්න ගියේ. එදානම් හොඳටම තෙමුනා, බයික් එක ලෙස්සල දෙපාරක් වැටෙන්නත් ගියා. එදා තමයි අවසන් වරට මතක හිටින නෑමක් නැවේ.

මෙහෙනම් (සව්දි අරාබියේ) ඉතින් වැස්ස නැහැනේ. නොවැම්බර් මාසේ ටිකක් වහිනවා. ආපහු ජනවාරි මාසේ ටිකක් වහිනවා. මම කලින් හිටියේ දමාම් නගරේ. එහෙටනම් ටිකක් හොඳට වැස්සා ඒ 2006 අවුරුද්දේ අන්තිමට. ඒ තමයි මෙහෙදී වැස්සේ අන්තිමට නාපු නෑම. හැබැයි වැඩිය තෙමෙන්න බැහැ, අසනීප ෂුවර් තමයි. ඒ වගේම අසනීප උනාම හොයන්න බලන්නත් කෙනෙක් නැතිනිසා බයයි. ඒ වගේම වැහි බින්දුව රුපියල් 2 සයිස් එකෙන්, රුපියල් 5හේ බරට වැටෙන්නේ. ඇගට අනිනවා වගෙයි මෙහෙ වැහි බින්දූ.. ඒ වගේම මාර සීතලයි. සව්දි මිනිස්සුනම් වැස්ස පටන් ගත්තම ටක් ගාලා කාන්තාරේ පැත්තට යනවා ටිකක් තෙමිලා, බාබකිව් පාරක් එහෙම දාගෙන, පොඩි ආතල් එකක් ගන්න. (මෙහේ ආතල් වල බෝතල් නැත.).

ඊට පස්සේ 2007 දී රියාද් නගරෙට ආවා. මෙහෙට ආවට පස්සෙනම් හොඳ මෝර සූරන වැස්සක්නම් දැක්කේ නැහැ. ඒත් දැන් මාසෙකට උඩදි පොඩි වැස්සක් වැස්සා ඒත් තෙමෙන්න චාන්ස් එකක් ලැබුනේ නැහැ. වැස්සේ ඔෆිස් හවර්ස් වල නිසා :)

ඔන්න ඔහොමයි මගේ ජීවිතේට වැස්ස සම්බන්ධ වෙන්නෙ.. මොනවා උනත් තාම වැස්සෙන් පීඩාවක් වෙලා නැහැ ගෙදරට ටිකක් ගංවතුර දානවා හැරෙන්න. :( (ඒකත් අපිට ජොලියක්නේ පොඩි කාලේ. දැන්නම් ටිකක් අප්සෙට්)

මේක තමයි මගේ වැස්සේ කතා වස්තුව. තව ලියන්න පුලුවන් රසබර තැන් තියෙනවා. ඒත් ඉතින් දැන්නම් ලියන්න ටිකක් වෙලාව මදි. ආයේ පස්සෙ වෙලාවක, නින්ද නොයන දවසක අකුරු කරන්නම්. ලියන්නනම් ඕන තරම් දේවල් තියෙනවා වැස්ස ගැන. කොයි කාලේ මොන දේ උනත් ඉස්කෝලේ ජීවිතේ කරපු කියපු දේවල්නම් අමතක වෙන්නෙම නැහැ. ඒ වගේම ඒ වගේ කාලයක් ආයෙත් කෝටියක් දුන්නත් ගන්නත් බැහැ. ඒ කාලේ මල් 7 x 7 යි. :) :) :) :*

16 comments:

malee_msg said...

හික් හික් මමත් හැබැයි ඔහොම තමයි මොන අපල උපද්‍රවය ආවත් වැස්ස දවසට මම අනිවාර්යෙන්ම ස්කොලේ...ඒ ලෙවල් කරනකොට නම් ගෙදර ඉදන් නිදාගත්තා...
මගේ ජිවිතෙත් ගොඩක් ලස්සන දවස් එක්ක වැස්ස සම්බන්ධයි ඒවා සේරම මෙතන කියන්න බෑ.. ස්තූතියි වැස්ස ගැන ලස්සන සටහනක් ලිව්වට.. මම නම් ආස වැස්සේ තෙමෙනවට වඩා නෙස්කැෆේ එකක් හදාගෙන ගොරව ගොරව වහින වෙලාවට ගෙදරට වෙලා වැස්ස දිහා බලන්න ඉන්න...

මේ word verification අයින් කරනවාදෝ!

මුහම්මද් හසන් ජුනෙයිඩීන් said...

@ malee_msg : word verification අයින් කලා... ඒක තියෙන්නෙ කොහොද කියලා මීටර් නැතිව හිටියෙ... :)

Nevi said...

කාලෙකට පස්සේ කියවපු අව්‍යාජ සටහනක්..

කීර්ති said...

මමත් වැස්සේ ඇති තරම් නාල තියෙනවා. වතුර දුර නිසා නෙවෙයි. ඇලට යන්නයි, ළි‍ඳෙන් වතුර අදින්නයි කම්මැලි නිසා. අපි ඉතින් ගමේ කොල්ලොනේ. පොඩිකාලේ වතුර මෝටරයක් තිබුනෙ නෑ අපේ දිහා. හැබැයි මට නං කාලෙකින් හොඳට තෙමෙන්න බැරිවුනා.

මෙහෙට නං දැනුත් වහිනවා. ඒත් තෙමෙන්න විදිහක් නෑ. වැඩ.

Pahan said...

සටහන නම් එල.
පොඩි නිවැරදි කිරීමක් අමල් ශාන්ත නෙවෙයි. අමල් ඉශාන්ත.

Pahan said...

සමාවෙන්න මටත් වැරදුනා
අමල් ඉෂාන්ත

Anonymous said...

උසස් පෙල ලියන්න එනකන් ලියපු ට්ක මට දැනුනා,ඒ ව්ධ්යටම මගේ ලයිෆ් එක්ත් ගෙවුනු හින්දා.නියමයි යාළුවා.

Anonymous said...

හරි අපූරුයි. ආස හිතෙන විදිහට ලියල තියෙනවා. ඇත්තටම රසවත්.

Chanaka Aruna Munasinghe said...

මම වැස්ස දවසට කඩදාසි බෝට්ටු හදල යවනවා :-)

ශාකුන්තල | Shaakunthala said...

මම හොඳට නාපු අවස්ථා දෙකක් තියෙනව. හැබැයි වැස්සට නං නෙවෙයි.
පළවෙනි එක.. අපි කැම්පස් එකේ රැග් වෙලා අවසාන දවසේ ලොකු එවුන් අපට දීපු බකට් එක
දෙවෙනි එක.. අපි පොඩි එවුන්ව රැග් කරල අවසාන දවසේ උන්ට දීපු බකට් එක (ඒ යස්ස පැටව් ටික මාව කුදලගෙන ගිහිං නෑව්වෙ)

කොහොම වුනත් වැස්සෙ තෙමෙන්න මම තාම හරි ආසයි. ඒ නිසා කවදාවත් කුඩයක් ගෙනියන්නෙ නෑ.. මොකද ජොබකට ගියාම ඔය ආතල් ගන්න වෙන්නෑ.

amal ishantha said...

මේ ලෝකේ තියෙන හොඳම සහ නරකම දේ තමා වැස්ස. ඕන වෙලාවටත් එනවා, එපාම කරපු වෙලාවටත් එනවා.

Bandula - බන්දුල said...

වැස්සට මමත් හරිම ආසයි.
වැස්ස කියන්නනේ ස්භාවධර්මයේ සජීවී බව අප වෙත ගෙනෙන මාධ්‍යය කියලයි මට හිතෙන්නේ. රාත්‍රියට වැහැපු දවසක උදෑසන තිබෙන නැවුම් බව හරිම චමත්කාර ජනකයි. මට හැම වැස්සක්ම පේන්නේ, හැමෝම එක්ක පරිසරයට මුදාහල සියළුම කුණුකන්දල් ඉවත් කරන්න ස්භාවධර්මයෙන් දෙන අවස්ථාවක් කියල.
මමත් හරිම ආසයි වැස්සෙන් තෙමෙන්න. තෙමුණොත් විනාශ වෙල දේවල් නොතෙමෙන භාජනයකට දාගෙන වැස්සෙම එලියට බහින්නේ හරියට වොටර්පුරුක් වගේ. (ඉස්සර - අපි පාසල් යන කාලෙ, දෙල්ගොඩ හිටියා මානසික වශයෙන් වෙනස් මනුස්සයෙක්. මිණිහත් වැස්ස ගනන් ගන්නේ නෑ. වැස්සෙ තෙමි තෙමි ඇවිත් අතපානව. ඇහුවහම ඇයි තෙමෙන්නේ කියල, "මම වෝටර්පුරුක්" කියනවා. ඉතින් අන්තිමට මිණිහගේ නම 'වෝටර්පුරුක්' වුණා.)

නිලන්ත පියසිරි said...

සටහන ලස්සනයි. ආසාවෙන් කියෙව්වා.

නාලක said...

ෂා ! හරිම ෂෝක්. මැක්සා සටහන. හරිම ආසාවෙන් තමයි මම කියෙවුවේ.එතෙර වැඩ කටයුතු සාර්තක වේවායි පතමි! ජය වේවා :)

මුහම්මද් හසන් ජුනෙයිඩීන් said...

අදහස් වලට බොහෝම ස්තුතියි.

මට හොඳට සිංහල පුලුවන් උනාට ලියනකොට ටිකක් අප්සෙට්. ඒත් කට්ටිය ලියලා තියෙන විධියටනම් ලිවිම හොඳයි වගේ. ලියන්න ලියන්න පුරුදු වෙනවා ඇති. ඒ නිසා ලියන්න ඕන දිගටම.

@ අමල් ඉෂාන්ත - නම හරියට දැමිමට බැරිවීම ගැන කණගාටුයි. ටක් ගාල හරි ගස්සන්නම් හොඳේ.

@ බන්දුල - අපේ පැත්තෙත් හිටියා ඔය වගේ ගැහැනු කෙනෙක්. ගෙවල් ගානේ ගිහින් මොනවා හරි වැඩක් කරල තමයි ජීවත්වෙන්නෙ. හැබැයි අතේ තියේන්නේ වෝටර්පුරුක් ඔරලෝසුවක්. ගලවන්නෙ නැහැ. මොනවා කලත්. නාන්නෙත් ඒක පිටින්. ඉතින් දකින හැමොටම බලෙන් වගේ කියනවා මේක වෝටර්පුරුක් ඔරලෝසුවක් කියලා.

@ නාලක - සුභ පැතුම් වලට ගොඩක් ස්තුතියි. ඉක්මනට ගම රට එන්න තමයි බලාපොරොත්තුව.

සු said...

හරිම අව්‍යාජව ලියවිලා තියෙනවා. මමත් වැස්සට කැමතියි. වැ‍ස්සේ තෙමෙන්න ‍කොයි තරම් කැමතිද කිවුවොත් දවසක් වැස්සේ මමයි තව දෙන්නෙකුයි තෙමි තෙමී මෙහා පැත්තේ ඉඳන් රීඩි මාවත පැනලා සයන්ස් එක ඇතුළෙන් තෙමි තෙමී ඇවිදගෙන පයින්ම බම්බලපිටියේ මුහුද ගාවට ගියා..පායනකන් වාඩිවෙලා හිටියා..අර දෙන්නාගෙන් එක්කෙනෙක් තෙමුණෙ නැහැ. එයා කුඩයක් ඉහළන් අපේ බෑග් මලු පොත් එල්ලන් අපි එක්ක ආවා..ඒකත් නරක නැහැ ඉතින්..
හෙණ හතක් වුණත් පුපුරන වැ‍ස්සේ කාගෙත් ඇස් වහලා බොරු කරලා මග බලන් ඉන්න කෙනෙක් හම්බවෙන්න ගිය වෙලාවලුත් තියෙනවා...
තව ඉතින් වැහි කතා එමටයි..
මේ සටහන හිතට වැදුණෙත් ඒ නිසා වෙන්න ඇති..