

වැස්ස සම්බන්ධයෙන් බ්ලොග් සටහන් දෙක තුනක්ම දැක්කා පහුගිය දවස්වල. ඒත් කාගේ කාගේ එව්වද කියලානම් මතක නැහැ. එකක් මම හිත්න්නේ
අමල් ඉෂාන්තගේ වෙන්න ඕන. ඉතින් මට ඒ වැස්සේ ස්ටෝරිස් කියෙව්වම ඉන්න බැහැ අප්පා.. :) හිතුනා මගෙත් වැස්සේ අත්දැකීම් කියන්න. වෙලාවක් එහෙම තියෙනවනම් කියවන්න. නොකියෙව්වා කියලා තරහා නැහැ. කම්මැලිකමට ලියන එව්වානේ. :)
හ්ම්ම්.. කොහොන්ද පටන් ගන්නේ. ඉස්කෝල ජිවිතෙන් තමා පටන් ගන්න ඕන.
ඉස්සර මාවයි මල්ලිවයි ඉස්කෝලේ එක්ක යන්නෙ අපේ තාත්තා, බයිසිකලේ තමයි යන්නේ. මල්ලි ඉස්සරහා, මම පිටිපස්සේ. කි.මි. 6-7 දුර යන්න ඕන ඉතින් ඉස්කෝලෙට, එතකොට මම 5 නැත්නම් 6 පන්තියේ වැස්ස දවසට ඉතින් රේන්කෝට් දාගෙන තමයි ඉස්කෝලේ යන්නෙ. මොන කෝට් දැම්මත් හරි යන්නෙ නැහැ, කෝට් එක ගලවන කොට බඩුම තමයි, ඇඟපුරාම වතුර. වට් ටු ඩු. සපත්තු ඇතුලෙත් වතුර, ඇවිදින කොට සපත්තුව කිචි කිචි ගානවා. අපිට රේන්කෝට් ඇන්දුවට තාත්තානම් නාගෙනම තමයි බයිසිකලේ පදින්නේ...
ඉස්කෝලෙ ඇරිලා එනකොට වැස්සොත්නම් අපිට සතුටුයි. කොහොමත් ගෙදරනේ යන්නේ කියලා හොදට වැස්සේ තෙමිගෙනම, මඩ වලවල් වලට පැනලා හොඳට සෙල්ලම් කරලා තමයි ගෙදර යන්නෙ. ඒකත් ආතල් ජීවිතේ නේද??
කොහොම හරි 7,8 පන්තියේ ඉද්දි අපි වෙන තැනකට ගෙවල් හදාගෙන මාරු වුනා. ඒ එරියා එකනම් අප්සෙට් අප්පා… :) වැඩේ කියන්නෙ ගෙදරට වතුර නැහැ, වතුර ගේන්න කිලෝමීටරයකට කිට්ටුවෙන්න යන්න ඕන. එතන තියෙන පොදු පයිප්පෙන් නාගෙන තවත් ලීටර් 20 බූලී දෙකකට වතුර පුරවගෙන බයිසිකලේ තියාගෙන එන්න ඕන. ඉතින් මේ අලුත් ගෙදර ගියාම වැස්සට ෂෝක්. මොකද ගොඩක් වැස්සම නාන්න පොදු පයිප්පෙට යන්න ඕන නැහැ. බොන්න විතරක් වතුර අරන් ආවම ඇති. මොකද නාන්නේ වැස්සේ. අපේ වහලෙට දාලා තියෙන පීල්ලෙන් එන වතුර ලොකු බැරල් එකකට පුරවලා ඒ වතුරෙන් තමයි නාන්නේ. අපේ අම්මලනම් වැස්සේ තෙමෙන්න එපා ලෙඩවෙයි කියලා කවදාවත් කියලා නැහැ. දෙවි පිහිටෙන් වැස්සේ තෙමිලා ලෙඩවෙලත් නැහැ. ඉතින් ඔහොමයි පොඩි කාලේ.
ඊට පස්සේ ඊට පස්සේ අපි ලොකුවෙනකොට ටිකක් ටිප්ටොප් එකට ඉන්න ඕන නිසා වැස්සේ තෙමියෙන ගමනක් එහෙම යන එක අඩු වුනා. උසස්පෙළ කරන කාලේ සෙනසුරාදාට වහිනවා කියන්නෙ අපිට නොදැනුවත්වම හරි මළපනින කාලෙනේ. මොකද නුගේගොඩට බහින්න බැහැ. මඩ ගොඩයි. ඒ වගේම වල බහින්නත් බැහැ. අනිත් එක කොච්චර වැස්සත් කුඩ අරන් යන වයසක් නෙමෙයිනේ. උසස් පෙළට ටියුෂන් ගිය අය දන්නවනේ අර ගැහැණු කුඩයක් අතේ අරන් යන්න තියෙන අකමැත්ත නේද.???
ඒ දවස්වල ඇවිදින්නෙත් හෙමින් අඩිය උස්ස උස්ස මොකද කලිසම් වාටියේ මඩ වදි කියලා. හීහී…. ඉතින් ඔන්න ඔහොමනේ උසස් පෙළකාලේ. මල් හතයි ඒ ලෙවල් සීසන් එක නේද? ගෙදරින් දෙන ගානකට තට්ටු කරන් ගිහින් කරපු දේවල් :) :)
ඔන්න ඊට පස්සේ ලව් කරන කාලේ. ගෑනු ළමයව හම්බ වෙන්න දාගත්ත දවසට උදේට වැස්සොත් කේස්. මොකද එන්න කියන තැනට යන්න පරක්කු වෙනවනේ. ලව් කරන කාලේ රත්තරනින් හැදු කුඩයක් හරි ලැබුනොත් අරන් යන්නේ නැහැනේ. මොකද අර එක කුඩේ යන්න තියෙන චාන්ස් එකට කෙලවෙනවනේ. අනේ අපරාදේ කියන්න බැහැ වැස්ස දවසට මම ලේට්. ඒ වෙලාවට එයාගේ මුහුණත් කලු වෙලා වැහි කලුව වගේම. (අර ඩැඩීලගේ සින්දුවේ වගේ) :) ඒ වගේම ලව් කරන කාලේ කොච්චර වැස්සත් අයිස් ක්‍රීම් තමයි කන්නෙ :) කොච්චර වැස්සත්, ගංවතුර ගැලුවත් අපි කානිවල් අයිස්ක්‍රිම් පාලර් එකේ.
ඔන්න දැන් තමයි ජොබ්කරන කොට වැස්සට අහුවුන කාලේ. මුල්ම රැකියාවට යන්න යන දවසෙත් ගනසැරේට වැස්ස. කොහොම හරි බාගයක් දුර ගියාට පස්සේ වැස්ස තවත් වැඩි උනා. ඊට පස්සේ දවල් කෑමට ගෙදරින් දීපු රුපියල් 40 ත්‍රීවීල් එකට දීලා ඔෆිස් එකට ගියා. මොකද පලවෙනි දවසෙම ලේට් වෙන්න බැරිනිසා. හැබැයි දවල්ට බඩගින්නේ. :)
ඒ වගේම වැස්ස දවසට කොහොමද බස් වල යන්න ගියාම කලු සපත්තු මඩ පාටවෙලා, කලිසම පැගිලා. ඊයා… ඒත් ඉතින් ජොබ් එකට යන්න එපැයි. නැත්නම් ලැබෙන ගානටත් කෙලවෙනවානේ.
ඔහොම ඔහොම ඉන්නකොට තවත් ආයතනයකින් ආපු ඔෆර් එකක් නිසා එහෙට සෙට් උනා. එහෙදිනම් බයික් එකක් දුන්න. පංකාදු පහයි. මොකද බස් වල චාටරෙත් නැහැ, අනිත් එක කොච්චර ලේසිද. ඒ උනත්, බයික් එකක කීයක් දීලා ගත්තත් වැස්සට තෙමෙන්න ඕන. ඒ බයික් එක බජාජ් උනත්, හාලි ඩෙව්ඩිසන් උනත්. වැස්ස දවසට ගෑනුළමයට බස් එකේ යන්න කිව්වම ඉතින් මූණ සතේ සයිස් එකට හැකිලෙනවා. කොච්චර උනත් ගැහැනු ළමයි තමන්ගේ කෙනෙක් එක්ක යනකොට ආරක්ෂයි කියලා හිතනවානේ.. ඒ නිසා වෙන්න ඇති නේද.?? ඉතින් එහෙම වැස්ස දවස්වලට මොබයිල් ෆෝන් එකයි, පර්ස් එකයි සිලිං බෑග් එකක ඔතාගෙන ෂර්ට් එක අස්සෙ දාගෙනනේ යන්නෙ තෙමෙයි කියලා.
ඔන්න ඔහොමයි ඒ කාලේ.
ඊට පස්සේ කොහොමහරි හොඳකට හෝ නරකකට (මමනම් හිතන්නේ කොයිදේ වෙන්නෙත් හොඳකටයි කියලා) රට යන්න චාන්ස් එකක් ආවා. ඒ තමයි දැන් ඉන්න සව්දි අරාබියට. ඒ දිනය 2006.06.18. එදා ඉරිදා දවසක්. එදත් හොඳටම වැස්ස. එදා දවසේ උදේ තමයි වැඩකරපු ආයතනයට මම පාවිච්චි කරපු බයික් එක බාරදෙන්න ගියේ. එදානම් හොඳටම තෙමුනා, බයික් එක ලෙස්සල දෙපාරක් වැටෙන්නත් ගියා. එදා තමයි අවසන් වරට මතක හිටින නෑමක් නැවේ.
මෙහෙනම් (සව්දි අරාබියේ) ඉතින් වැස්ස නැහැනේ. නොවැම්බර් මාසේ ටිකක් වහිනවා. ආපහු ජනවාරි මාසේ ටිකක් වහිනවා. මම කලින් හිටියේ දමාම් නගරේ. එහෙටනම් ටිකක් හොඳට වැස්සා ඒ 2006 අවුරුද්දේ අන්තිමට. ඒ තමයි මෙහෙදී වැස්සේ අන්තිමට නාපු නෑම. හැබැයි වැඩිය තෙමෙන්න බැහැ, අසනීප ෂුවර් තමයි. ඒ වගේම අසනීප උනාම හොයන්න බලන්නත් කෙනෙක් නැතිනිසා බයයි. ඒ වගේම වැහි බින්දුව රුපියල් 2 සයිස් එකෙන්, රුපියල් 5හේ බරට වැටෙන්නේ. ඇගට අනිනවා වගෙයි මෙහෙ වැහි බින්දූ.. ඒ වගේම මාර සීතලයි. සව්දි මිනිස්සුනම් වැස්ස පටන් ගත්තම ටක් ගාලා කාන්තාරේ පැත්තට යනවා ටිකක් තෙමිලා, බාබකිව් පාරක් එහෙම දාගෙන, පොඩි ආතල් එකක් ගන්න. (මෙහේ ආතල් වල බෝතල් නැත.).
ඊට පස්සේ 2007 දී රියාද් නගරෙට ආවා. මෙහෙට ආවට පස්සෙනම් හොඳ මෝර සූරන වැස්සක්නම් දැක්කේ නැහැ. ඒත් දැන් මාසෙකට උඩදි පොඩි වැස්සක් වැස්සා ඒත් තෙමෙන්න චාන්ස් එකක් ලැබුනේ නැහැ. වැස්සේ ඔෆිස් හවර්ස් වල නිසා :)
ඔන්න ඔහොමයි මගේ ජීවිතේට වැස්ස සම්බන්ධ වෙන්නෙ.. මොනවා උනත් තාම වැස්සෙන් පීඩාවක් වෙලා නැහැ ගෙදරට ටිකක් ගංවතුර දානවා හැරෙන්න. :( (ඒකත් අපිට ජොලියක්නේ පොඩි කාලේ. දැන්නම් ටිකක් අප්සෙට්)
මේක තමයි මගේ වැස්සේ කතා වස්තුව. තව ලියන්න පුලුවන් රසබර තැන් තියෙනවා. ඒත් ඉතින් දැන්නම් ලියන්න ටිකක් වෙලාව මදි. ආයේ පස්සෙ වෙලාවක, නින්ද නොයන දවසක අකුරු කරන්නම්. ලියන්නනම් ඕන තරම් දේවල් තියෙනවා වැස්ස ගැන. කොයි කාලේ මොන දේ උනත් ඉස්කෝලේ ජීවිතේ කරපු කියපු දේවල්නම් අමතක වෙන්නෙම නැහැ. ඒ වගේම ඒ වගේ කාලයක් ආයෙත් කෝටියක් දුන්නත් ගන්නත් බැහැ. ඒ කාලේ මල් 7 x 7 යි. :) :) :) :*